
කොළඹ ගලධාරි හෝටලයේ පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මාධ්‍යවේදීන්ට කැඳවීම් කර තිබිණ
මෙම වැරදකරුවන් අතරේ අවශ්‍ය කරන පුද්ගලයින් නොමැති බැවින් ඔවුන්ට සමාව දෙන බව තමන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු එහිදී කියා සිටියේය.
අද පැවති මාධ්‍ය හමුවේදී රූකාන්ත ගුණතිලක මහතා මෙසේද පැවසිය
“මම දෙවියන් වහන්සේ සමග සමීපව කටයුතු කරන පුද්ගලයෙක්. එදා ඒ අමිහිරි සිදුවීම වූ පසුව අපි ඒ දේ කළ පුද්ගලයින්ට සමාව ලබා දීමට තීරණය කළා. ඒ අනුව දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ පවුලේ සියලු දෙනාම එක් වී ඔවුන්ට සමාව ලබා දුන්නා.
අපිට අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය අධිකරණයට ගිය පසුව එය විභාග කිරීමට දින කිහිපයක් තිබියදී කිසියම් පිරිසක් අපගේ නිවසට ගිනි තැබූවා හෝ ගිනි ගත්තා. ඉන්පසුව 2005 වසරේ දී තමයි අපි ලංකාවෙන් පිටත්ව යන්නේ.
අපිට අඩම්තේට්ටම් කර නිවසට අලාභ හානි කළ පුද්ගලයින්ට දැන් නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා. මේ අධිකරණ තීරණයත් සමගින් වැරැදි කළ අයට දඬුවම් ලැබී ඇති බවට ලොකු සැනසීමක් ලැබී තිබෙනවා. අධිකරණ තීරණයට අපි ගරු කරනවා.
එද මේ සිදුවීම ඇතැම් අය විවිධ ආකාරයට අර්ථකථනය කළා. ඇමරිකාවට යාම සඳහා අපි විසින්ම කළ දෙයක් ලෙස ඇතැම් අය එය හඳුන්වා දුන්නා. ඒත් ඒ කාලයේදීත් ඇමරිකාවට යාම සඳහා අවශ්‍ය වීසා අපිට තිබුණා.
මේ වැරැදි කළ අය කිසියම් අයෙක්ගේ නියෝගයකට යටත් වීම නිසා තමයි ඒ වරද කළේ. බලවත් අයෙක් තමන්ගේ යටතේ සිටි පුද්ගලයින්ට දුන් නියෝගයක් ක්‍රියාත්මක කළා. ඒ නියෝග ලබාදුන් අය අදත් නිදැල්ලේ සිටිනවා. ඒක දැකලා අපිට සාධාරණයක් වුණා කියලා කියන්න බැහැ.”
එහිදී අදහස් දැක්වූ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය හඬා වැටෙමින් මෙසේ පැවසූවාය.
“මේ සිදුවීමේ දී ලොකුම අසාධාරණය සිදුවුණේ මටයි. මම තමයි වැඩියෙන්ම අපහසුතාවට ලක්වුණේ. අපේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි විදේශ ගත වුණේ. අපි මේ අයට සමාව ලබා දෙනවා.”
මත්තේගොඩ පිහිටි රූකාන්ත ගුණතිලක මහතාගේ නිවසට පැමිණ හිරිහැර සහ දේපළ හානි කිරීමේ චෝදනාව මත හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකුට පානදුර මහාධිකරණය විසින් පසුගිය ද දඬුවම් නියම කර තිබුණි.
ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට වසර හතර හමාර බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් පානදුර මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් නියම කරන ලදි.
මෙම නඩුවේ පූර්ණ ආබාධිත තත්ත්වයේ පසුවන විත්තිකරුවෙකුට වසර හතර හමාරක ලිහිල් සිර දඬුවම් නියම කර ඇත.
මෙම සිද්ධියෙන් අගතියට පත් රූකාන්ත ගුණතිලක මහතාට සහ චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ විස්සක වන්දි මුදලක් ගෙවන ලෙස ද විත්තිකරුවන් දස දෙනෙකුට මහාධිකරණ විනිසුරුවරිය නියම කර තිබුණි.
වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් අමතර වසරක ලිහිල් සිරදඬුවමක් නියම කරන බව විනිසුරුවරිය ප්‍රකාශ කර ඇත.
ඊට අමතරව රුපියල් 21, 000 බැගින් වන දඩ මුදලක් ද ගෙවන ලෙස විත්තිකරුවන්ට නියම කර තිබේ.
ඡායා - ලක්බිම


No comments:
Post a Comment