HIRU TV

Friday, August 2, 2013

Army brutally assaulted the media - FMM

 

Army brutally assaulted the media - FMM

Rathupaswala protest 410px hirunewsහමුදාව, වැලිවේරිය මිනිස් දඩයමට පෙර, මහජන උද්ඝෝෂණය සිදුවීම වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පළවා හැරීමට කටයුතු කර ඇති අතර, කිහිප දෙනෙකුට පහර දී කැමරා විනාශ කොට ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
මෙහිදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවත්,  තුවාල ලැබූ කාන්තා මාධ්‍යවේදිනියකට හමුදාව විසින් වටලනු ලැබූ වැලිවේරිය ප්‍රදේශයේ නිවසකට කොටුවී රාත්‍රීයේ හමුදාව ප්‍රදේශයෙන් පිටව යනතුරු සැඟවී සිටින්නට සිදුව ඇති බවත් එම සංවිධානය කියා සිටියි.
වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජල දූෂණ ගැටළුව සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා උද්ඝෝෂණය කළ ප්‍රදේශවාසීන් හා එය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් වෙත හමුදාව විසින් එල්ල කළ අමානුෂික ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙය ශ්‍රී ලාංකික ජන සමාජය හමුදාකරණයට ලක් කිරීමේ පියවරේ තවත් එක් නින්දිත උදාහරණයක් බව පෙන්වා දෙයි
.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනුල් ජයසේකර හා එහි ලේකම් කුමාර අලගියවන්න යන මහත්වරුන් විසින් නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.
එම නිවේදනයේ තවදුරටත් මෙසේද දැක්වේ.
පොලූ මුගුරුවලින් පහර දීම හා වෙඩි තැබීම නිසා මේ වන විට එක් ගම්වැසියෙක්  මිය ගොස් විසි ගණනක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
බලධාරීන් විසින් නොවිසඳන තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ලැබී ඇති සාමූහික විරෝධතා දැක්වීමේ අයිතිය අනුව, අගෝස්තු 1 වැනිදා මහ මඟට බැස ස්ථාන තුනකදී විරෝධතා දැක්වූ ජනතාව හා ඒවා වාර්තා කිරීමට ඇති අනුලංඝනීය ප්‍රකාශනයේ නිදහස සහිතව එහි ගිය මාධ්‍යවේදීන් මෙම අමානුෂික හමුදා දඩයමේ ගොදුරු බවට පත්ව ඇත.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඔරුතොට හන්දියේ උද්ඝෝෂණය කරමින් සිටි ජනතාව පළවා හැරීම සඳහා ප්‍රථමයෙන් ප්‍රහාර එල්ල කර ඇති හමුදාව එම මාර්ගයේ බැලූම්මහර හන්දියේදී දෙවන ප්‍රහාරය දියත් කර ඇත.

ඔරුතොට හන්දියේදී වහලක් උඩ සිට ඡායාරූප ගත් 'අද' පුවත්පතේ මාධ්‍යවේදියාට පහර දී තුවාල කොට කැමරා විනාශ කොට ඇත්තේ ඔහු එයින් බස්සවා ගැනීමෙන් පසුව බව වාර්තා වේ.

අවසානයේ උද්ඝෝෂණය දින හයක් අඛණ්ඩව පැවැති වැලිවේරිය හන්දියට පැමිණි හමුදාව ඉහළ තැනක සිට වාර්තා කරමින් සිටි කැමරා මාධ්‍යවේදීන් වෙත ප්‍රථමයෙන් කඩා පැන, ඔවුන්ට පහර දී කිසිවක් වාර්තා කළ නොහැකි ලෙස නිවසකට කොටු කර රැකවල් ලා තිබූ බවද වාර්තා වේ.
ප්‍රධාන මාර්ගයක අවහිරතා මඟ හැරවීමට අවම බලය යොදවන මුවාවෙන් තම මූලික අයිතියක් වූ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාව වෙත වෙඩි උණ්ඩ එල්ල කොට මිනී මැරීම හා බරපතල තුවාල සිදු කිරීම හමුදා රාජ්‍යයක ලක‍ෂණ මිස තම අයිතීන් ඉල්ලා උද්ඝෝෂණය කිරීමේ හා ඒවා වාර්තා කිරීමේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරකින ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ලක‍ෂණ නොවේ.
මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ජන සංහාර හා මාධ්‍ය නිදහස උල්ලංඝණය කිරීම් වැළැක්වීම සඳහා මෙරට බලධාරීන්ට බල කිරීමේ පළක් නොමැති බව පෙනෙන නමුත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනතාව සහ සියළු සිවිල් බලවේග වෙත අවධාරණය කර සිටින්නේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම හා මාධ්‍ය නිදහස රැක ගැනීම සඳහා සියළු දෙනා එක්ව නැගී සිටීමට කාලය පැමිණ ඇති බවය.

No comments:

Post a Comment