HIRU TV

Saturday, October 5, 2013

Chilaw fisherman's death - a manslaughter

හලාවත ධීවරයාගේ මරණය -සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්

Chilaw fisherman's death - a manslaughter

 
Antony Fernando 410px 05-10hirunewsධීවර උද්ඝෝෂණයක් අවස්ථාවේදී සිදුවු වෙඩි තැබීමකින් මියගිය හලාවත ධීවරයාගේ මරණයට හේතුව සාවද්‍ය මිනිස් ඝාතනයක් බවට හලාවත දිසා විනිසුරු ජගත් කහඳගම මහතා ඊයේ (04 ) සවස තීන්දු කළේය.
2012 වසරේ පෙබරවාරි මස15 වැනි දින සිදුවු මෙම වෙඩි තැබීමෙන් හලාවත , වැල්ල පදිංචිව සිටි ඇන්ටනි ප්‍රනාන්දු නම් වූ දෙදරු පියෙකු මියගියේය.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් අනතුරුව හලාවත අධිකරණය හමුවේ නඩු පවරන ලදි. නමුත් චුදිතයෙකු නම් කර නොතිබිණ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව හලාවත දිසා විනිසුරුවරයා විසින් ඊයේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

2012 වසරේ පෙබරවාරි මාසයේදී  රජය විසින් සිදුකළ ඉන්ධන මිළ ඉහළ දැමීමට විරෝධය පාමින්  ලංකාව පුරාම  ධීවරයින් උද්ඝෝෂණ වල නියලුන අතර මෙම සිදුවීම් අවසන් වූයේ, 2012 වසරේ පෙබරවාරි මස15 වැනි දින සිදුවු  වෙඩි තැබීමෙන් හලාවත,  වැල්ල පදිංචිව සිටි ඇන්ටනි ප්‍රනාන්දු නම් වූ
දෙදරු පියෙකු සහ තවත් පුද්ගලයන්  හතර දෙනෙකුගේ අතපය වලට හානි වීමෙන් හා අබ්බගාත වීමෙනි.

මෙම විරෝධතාවයේදී වෙඩි වැදුන ඇන්ටනී ප්‍රනාන්දු  සුලු මොහොතකින් මියගිය අතර ජේසුමරිය කිංස්ලිගේ පාදයක් අහිමි විය.

පසුව මාස 3ක් ඉක්ම ගිය තැන තමන් පත්වූ අසරණ තත්ත්වය නිසා  සිය පවුලේ සාමාජිකයන් විදින දුක්ගැහැට ඉවසනු නොහැකිව ජේසු මරිය කිංස්ලි මහතා සිය දිවි හානිකර ගත්තේ සිය දෑතින්මය.

ඇන්ටනී ප්‍රනාන්දු මහතාගේ පවුලට සිද්ධිය වූ දිනට පසුදිනම ඩී.අයි.ජී හරහා මුදල් චෙක්පතක් ලබාදුන් අතර ඉන්පසු  මෙම පවුලේ තත්ත්වය දෙස බලන්නට කිසිවෙක් ඉදිරිපත් නොවිය.

දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වූ ඇන්ටනී ප්‍රනාන්දුගේ බිරිද මෙම සිදුවීම වනවිට සිටියේ විදේශගතවී සේවය කරමිනි. ඇන්ටනී මහතාගේ මරණයත් සමග පැමිණි ඇය මේ වනවිටත් සිය පවුල සමග ජීවත්වෙයි. දරුවන් අධ්‍යාපනය ලබන බැවින් ඔවුන් තනිකරන්නට නොහැකි නිසා විදේශගත නොවූ ඇය මේ මොහාතේ ජීවත්වීම වෙනුවෙන් සීදුව කම්හලක සේවයේ නිරත වන්නීය.

 තමන්ගේ පවුල රකිමින් දරුවන්ගේ අනාගතය සුරකින්නට සිටි සිය ස්වාමි පුරුෂයා මරා දැමූ පසු රජයෙන් හෝ වෙනත් කිසිදු වගකිවයුතු ආයතනයකින් ඔවුන් අද ජීවත්වන්නේ කෙසේද යන්න සොයා බලන්නේ නැති බවත් නිලූකා පවසයි. දරුවන්ගේ අධ්‍යාපනයට හෝ ආධාරයක් නොලැබෙන බව ද  පවසන ඇය මේ වන විට සිය දරුපවුල ජීවත්කරවන්නට තනිවම සටනක යෙදෙන්නීය.

අදටත් හලාවතදී වෙඩි තැබූ  ධීවරයන්ගේ පවුල් වලට දුන් සුළු සහන හැරෙන්නට සාධාරණ වන්දියක් හෝ නීතිමය පිළිසරණක් නොමැති තත්ත්වයක ඔවුන් තමන්ට අහිමි වූ ස්වාමිපුරුෂයන් වෙනුවෙන් ජීවන සටනක නියැලෙමින් සිටිති.

මෙවැනි ඛේදවාචකයන් පිළිබද මාතෘකා ද මාධ්‍යයන්ට  මගහැරෙමින් තිබෙන්නේ ද අද බොහෝ මාධ්‍ය ද තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනප්‍රිය මාතෘකා තෝරමින් තරගයක යෙදී සිටින බැවිනි.  වෙඩි තබා ඝාතනය කළ ඇන්ටනී ප්‍රනාන්දුගේ පුවත විකුණන්ට හැකි වුවද  තනිවී සටන් කරන ඇන්ටනීගේ බිරිද නිලූකාගේ හෝ දරුවන් හතරදෙනෙකු සමග තනිව සිටින ජේසුමරිය කිංස්ලිගේ පවුලේ කතාව  විකුණන්නට නොහැකිවීම  ද අද අප රටේ මාධ්‍ය කලාව මුහුණ දී ඇති ඛේදවාචකයයි.

No comments:

Post a Comment